25 C
Colombo

නිල නිවස ආරක්ෂාව ඇතුළු හිටපු ජනපතිවරයෙකුට හිමි වරප්‍රසාද ගෝඨාට

Published:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුර කාලය අවසන් වීමට පෙර ඊයේ (15) නිල වශයෙන් ඉල්ලා අස්විය. ඔහු වසර දෙකයි මාස හතයි දින 25ක් ධූරයේ කටයුතු කර ඇති අතර හරියටම කිවහොත් ලැබුණු කාලයෙන් අඩක් ඔහු එම ධුරයේ කටයුතු කර ඇත.
නියමිත කාලයට පෙර ඉල්ලා අස් වුවද ඔහුට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුගේ වරප්‍රසාද හිමිවන බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා පැහැදිලි කර ඇත.

1986 අංක 04 දරණ ජනාධිපතිවරයාගේ හිමිකම් පිළිබඳව පනතේ හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද සඳහන් වෙයි. හිමිකම් පනතට අනුව,

සෑම හිටපු ජනාධිපතිවරයෙකුට ම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.
යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි හෝ අවශ්‍ය නැතැයි දන්වා සිටින අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස රජය ලබා දිය යුතුය.

මෙම පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකු අභාවයට පත් වුවහොත් හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නිවස බිරිදට හෝ සැමියාට ඔවුන් ජීවත් වන තුරු ලබා දිය යුතුය.

මීට අමතරව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ සැමියන්ට විශ්‍රාම වැටුප්, කාර්ය මණ්ඩලය, නිල නිවාස, ආරක්ෂක භටයින්, රථවාහන සහ ඉන්ධන වියදම් ද රජය මගින් ලබාදිය යුතු වෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙන්ම ඔහුගෙන් පසුව ඔහුගේ බිරිඳටද මෙම වරප්‍රසාද හිමිවනු ඇත.

මෙරට විධායක ජනාධිපතිවරුන්ගේ ධුර කාලයන් පිළිබඳ විමසා බැලීමේදී වැඩිම කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිට ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගයි.

ඇය වසර 11 කුත් මාස හතක කාලයක් තුළ දෙවරක් ජනාධිපති ධුරය හොබවා ඇත. 2019 නොවැම්බරයේදී ජනාධිපති ධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ, විධායක ජනාධිපති ධුරයකින් ඉල්ලා අස්වන පළමු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

Related articles

Recent articles